අපේ කතාව
ක්‍රි.ව.1874 වනවිට මාතර ප්‍රදේශයේ පන්සලෙන්, ගුරු ගෙදරින් අකුරු උගත් අය සිටියේ අතලොස්සකි. යටත් විජිත ආණ්ඩුවට සිය පරිපාලනමය කටයුතු කිරීම පහසු වූයේ ජනතාව කියවීමට ලිවීමට හැකිකමක් ලදොත් පමණක් බවට අවබෝධ විය. එබැවින් රටපුරා ප්‍රාථමික අධ්‍යාපනය ස්වභාෂා මධ්‍යයෙන් ලබාදීමට අදහස් කෙරිණි. එය ක්‍රියාත්මක වෙමින් පවතින සමයෙහි ආදි කර්තෘවරයා වන කිරින්ද පුහුල්වැල්ල ගම් ප්‍රදේශයේ කාලයේ හැටියට තරමක ඉංග්‍රීසි දැනුමකූත්, සිංහල දැනුමකුත් ලබාසිටි ආඩියකන්ද වත්ත අයිති ඉඩම් හිමි වැවිලිකරු එස්. ඒ. වික්‍රමසිංහ මහතා තම ගම් ප්‍රදේශයේ ගැමි දරු දැරියන්ට අකූරු කරන්නට පාසලක් අත්‍යවශ්‍යබව අදහස් කළේය.
එම හේතුව නිසා 1874 වර්ෂයේදී පුහුල්වැල්ල ආණ්ඩුවේ පිරිමි පාඨශාලාව බෞද්ධ පාසලක් ලෙස පොල්අතු මඩුවකින් ආරම්භ කරන ලදී. එවකට මේ පාසල පිරිමි ළමයින් සඳහා සිප් සතර බෙදා දුන් ආයතනයක් විය. නැවත 1963 වර්ෂයේදී කඹුරුපිටියේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහජන මන්ත්‍රී පර්සි අබේවර්ධන වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම යටතේ මිශ්‍ර පාසලක් බවට පත් කරන ලදි.පර්සි වික්‍රමසිංහ යන්ගේ පියා තම ඉඩමක කිරින්දේ හන්දියේ 1930 වකවානුවේ ඇරැඹි කිරින්දේ බාලිකා විදුහලේ හය ශ්‍රේණියෙන් ඉහළ ගැහැනු ළමයි මේ ස්ථානයට ගෙනවිත් මෙය මිශ්‍ර පාසලක් බවට පත් කළ අතර පිරිමි විදුහලේ සිටි හය ශ්‍රේණියට පහළ පිරිමි ළමයි බාලිකා විදුහලට ගෙනගොස් එය කිරින්දේ කනිටු විදුහල බවට පත් කළේය.
පූර්වගාමීන් ගෙන් ලත් ආදර්ෂය අනුව යමින් රජයේ ව්‍යවස්ථාපිත අධ්‍යාපන පිළිවෙතකට අනුව කටයුතු ක්‍රියාත්මක වූයෙන් එයින් දැල්වුනු ඥාණප්‍රදීපය අනාගත පරපුරේ මේ දක්වා යොමුවී ගලා ගෙන ඒම අතිමහත් සාඩම්බර දිගු ගමන් මගකි. එදා ඉංග්‍රීසි රජය ඒ අවදියේ පාසලේ නාමපුවරුව පවා ඉංග්‍රීසි බසින් ලියවී තිබිණි. “ Government Boys School Puhulwella” යනුවෙන් නම්කර තිබිණි.
අදට වඩා යහපත් ලොවක් ගොඩ නැංවීම සඳහා අධ්‍යාපන ප්‍රතිපත්තියේ සංකීර්ණ අභියෝගයන්ට මුහුණ දෙමින් පළමුවෙන්ම එස්. ඒ. වික්‍රමසිංහයන් වැනි දූරදර්ශී බුද්ධිමතුන්ගේ අත් පොත් තැබීම පාසලේ අභිවෘද්ධියට මුල්විය. එමෙන්ම 1963 වර්ෂය වනවිට ආගමික ප්‍රබෝධයක් ඇතිවූ වකවානුවක් ලෙසට හැදින්වීමද මෙහිලා සැලකිය යුතු කාරණයකි.1963 මිශ්‍ර පාසලක් බවට පත්වීමත් සමඟ පුහුල්වැල්ල මහා විදුහල බවට පත් විය.මෙතෙක් කිරින්දේ බාලිකා වේ හා පුහුල්වැල්ල පිරිමි විදුහල පැවැතියේ සාමාන්‍ය පෙළ පන්තිය දක්වා පමණි.මහා විදුහලක් බවට උසස් වීමත් සමඟ සිසු සිසුවියන්ට සරසවි ප්‍රවේශ පන්ති වූ උසස් පෙළ පන්තිද ඇරැඹිණි.උසස් පෙළ පන්ති අරඹා වසර දෙකක් යන්න පළමුව පාසලෙන් සිසු සිසුවියන් දෙදෙනකු විශ්වවිද්‍යාලයට තේරුණි.ඒ 1964 වසරයි. ඒ වසරේ මුල්ම සිසු සිසුවියන් දෙදෙනා වූයේ පුහුල්වැල්ල පුවක්ගහ මඩිත්ත ආරන්‍ය පාරේ මිල්ලගහකනත්තේ සිරිසේන සිසුවා හා කිරින්දේ අබේසිරිවර්ධන සිසුවියයි.ඉන් පසු සෑම වසරකම පාසලේ ළමයින් කිහිපදෙනකුට සරසවි වරම් හිමි විය.1965 වසරේ දෙදෙනෙක්,1966 වසරේ දෙදෙනෙක්,1967 වසරේ දෙදෙනෙක් තේරුණු අතර 1968 වන විට වසරක දී විදුහලේ සිසු සිසුවියන් සරසවි වරම් ලැබීම දස දෙනකු දක්වා වර්ධනය විය.
1960 දසකයේ සිට විශාල සිසුන් සංඛ්‍යාවක් වාර්ෂිකව විශ්ව විද්‍යාල අධ්‍යාපනය පවා ලබා ගැනීමට සුදුසුකම් ලබමින් ලක් දෙරන තුළ විවිධ රැකියාවල අවතීර්ණය වී සිටින අයුරු අදත් දිස්වේ.එමෙන්ම ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයන්ද රණවිරුවන් විශාල සංඛ්‍යාවක් ද මේ විදුහලෙන් බිහිවී ඇත.
එමෙන්ම දෙස් විදෙස් පතල රටේ අගමැති තනතුරු දැරූ දේශපාලනඥයන්, මහාචාර්යවරු, විශ්ව විද්‍යාල ආචාර්ය වරු,වෙදදුරන්,නීතිඥයන්,බැංකු නිලධාරීන් ඇතුළු උසස් තනතුරු දැරූ ආදි සිසුන් බොහෝය.
මේ පාසලේ ඉඩම හිමිකරු වූ එස්. ඒ .වික්‍රමසිංහ මහතා 1874 ප්‍රථම ගුරුවරයා බවට පත්වීමද ප්‍රදේශවාසීන්ට මහත් භාග්‍යයක් විය. ඉන් අනතුරුව ගුණසේකර, දිසානායක, සේරම්, පොල්ගහමුල්‍ලේ රත්නායක, ගුණසේකර, සමරසේකර, ඩී.ඒ.කේ නානායක්කාර, සෝමපාල අමරසිංහ, අබේසූරිය, ධර්ම ශ්‍රී දසනායක, ජාතුංආරච්චි, ආනන්දකුමාර, රත්නපාල ගමගේ, සහ තවත් විදුහල්පතිවරු කිහිපදෙනෙක් විද්‍යාලාධිපතිවරුන් ලෙස පිළිවෙළින් මේ විදු බිමේ පහස ලබමින් ඉමහත් සේවයක් පාසල් මාතාවට එහි දූ දරුවනට ලබාදෙන ලදී. 1963 වර්ෂයේ දී ද්විතීක අධ්‍යාපන ආයතනයක් බවට පත්වීම හේතුව නිසා ප්‍රදේශයේ දියණියන්ට ද මේ පාසලේ සිප් හැදෑරීමට අවස්ථාව ලැබිණි. ඒ සමඟම අප පාසල මධ්‍ය මහා විද්‍යාලයක් බවටද පත්විය. එම වකවානුව තුළදීම කලා, විද්‍යා, වාණිජ විෂය ධාරා ඇරඹීමෙන් ඈත පිටිසර දූ දරුවන් පවා උසස් අධ්‍යාපනය ලබා පවා ලබා ගනිමින් ලක් දෙරන තුළ විවිධ රැකියා වල අවතීර්ණය වී සිටින අයුරු අදටත් දැක ගත හැකි විය.
විදුහලේ අභිවෘද්ධිය සඳහා විවිධ අයුරින් අනුග්‍රහය සැලසූ මැති ඇමැතිවරුන් පරිත්‍යාගශීලීන්ගේ ප්‍රභූවරුන්ගේ උදව් උපකාර නිසා 1940 ගණන්වල සාදන ලද මේ විදුහලේ පැරණි ගොඩනැගිල්ල T අකුරේ හැඩයට ඇති ශාලාව අලුත්වැඩියා කර පාසලේ හඳවත බදු පුස්තකාලය පවත්වාගෙන ගිය අතර කාර්යාලය සහිත කොටස අලුත් නිමාවකින් යුතුව එලෙසම පවතී. 1955 දී T හැඩයේ ගොඩනැගිල්ලට නැගෙනහිර භාගයේ ගොඩනැගිල්ල ඉදිවූයේ පාසල් ළමයින් සංඛ්‍යාව වසරින් වසර වැඩිවීමේ ප්‍රතිශතය මත ඉඩකඩ ලබාගැනීමටයි.1965 වර්ෂයේදී පමණ මේ පාසල පිහිටි ප්‍රධාන භූමිය තාවකාලික ටකරන් සහ ඇස්බැස්ටෝස් සෙවිලිකළ ගොඩනැගිලි 3 ක් ඉදිවුණි. නැවතත් බොරොල්ල වත්තේ සිටි ප්‍රභූවරයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් ලෙස සභාගත වූ පර්සි.ඒ. අබේවර්ධන වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම යටතේ ගොඩනැගිලි ඉදිවිය.එම ඉදිකිරීම් නම් 1965 වර්ෂයේ විද්‍යාගාරය සහ ගුරු නිවාසය තනා නිම කළේ මේ සමඟ පාසලේ පැවැති බලවත් අඩුපාඩුවකට පිළියමක් වශයෙනි. 1970 න් පසු විද්‍යාලයේ ඉඩපහසුකම් වෙනුවෙන් යාබද ඉඩම් කිහිපයක් රජයට පවරා ගැනීමටද සිදුවිය.
2021 වසර වන විට විදුහලට නව පෙනුමක් ගෙන දෙමින් පහසුකම් සහිත නව ගොඩනැගිලි රැසක් ඉදිවී ඇත.
අද මේ වන විට විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ද ගුරුවරු ලෙස සේවය කරමින් පාසල ශීඝ්‍ර දියුණුවක් කරා ගමන්කරමින් පැවතීම අප හට ඉමහත් ආඩම්බරයකි.වත්මන් විදුහල්පති අනුර වන්නිගේ මහතාද මේ විදුහලේ ආදී සිසුවෙකි.
පුහුල්වැල්ල විද්‍යාලය ජාතික පාසල් දහස අතරට එක්විමේ සමාරම්භක උළෙල මේ මස 7වන සිකුරාදා සිදුකේරේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ "ජාතික පාසල් දහස" වැඩසටහනට සමගාමීව දකුණු පළාත තුළ ඉදිවන ජාතික පාසල ලෙස කඹුරුපිටිය මැතිවරණ කොට්ඨාසයේ කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලය සුදුසුකම් ලබා ඇත.
ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා අධ්‍යාපන ඇමැතිවරයාව සිටි කාලය තුළ කිසිදු ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රාශියක් හඳුනා ගත් අතර ඒ අතරට කිසිදු ජාතික පාසලක් නොමැති කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලය ඒ සඳහා තෝරා ගන්නා ලදී.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
සාමසිරි බැද්දේගම